අනුරගේ ඉතිහාස කතාව

anura kumara disanayaka president sirlanka

මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) උදෑසන දිවුරුම් දුන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේ දී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබූ අයෙක්. ඒ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා – ගණිත අංශයෙන් පෙනී සිටියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ඔහු 1992 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයට තෝරා ගනු ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය දැරීම ඇතුළු විශ්වවිද්‍යාලය තුළ සමාජීය හා දේශපාලන කටයුතුවල ක්‍රියාකාරිකයෙකු වූ අනුර කුමාර දිසානායක අධ්‍යයන කටයුතු හමාර කර 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා.

අනුර කුමාර දිසානායක එදා මෙදා තුර මෙරට දේශපාලන තලය තුළ බිහිවුණු ජව සම්පන්න සහ කැපී පෙනෙනම දේශපාලන නායකයා ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. ඒ සාම්ප්‍රදායික දේශපාලන පවුලකට අයත් නොවූවෙකු සහ ප්‍රගතිශීලී හා ජනතාවාදී දේශපාලන ධාරාව තුළ විවිධ දුෂ්කරතා දරා ගනිමින් ඉදිරියට පැමිණි අයෙකු වීම නිසයි. ඔහුගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වන්නේ ඔහු පාසල් ශිෂ්‍යයෙකුව සිටි කාල වකවානුවේ දි යි. 1987 වසරේ දී එවක පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩනැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය සපයමින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු බවට පත්ව සිටියා.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක්වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදු වූ 1993 කාල වකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු විශ්වවිද්‍යාල සමයේ දී කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැගීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ ඔහු එවකට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම ‘අරවින්ද’ යන අනවර්ථ නාමයෙන් සැමගේ ආදරය හා ආකර්ෂණය දිනා ගෙන සිටියා. මෙම ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීත්වයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 1997 වසරේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයේ වගකීම් ඔහුට පැවරී තිබුණා. අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේ දී ම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තෝරා ගනු ලැබුවා. ඉන් පසුව ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර ගත්තා.

1999 වසරේ දී පැවැති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට ඔහු තරග වදිමින් ඔහු පළමු වරට බහුජන දේශපාලනයට ප්‍රවේශය ලබා ගෙන තිබුණා. 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා. ඉන් අනතුරුව 2001 වසරේ දී දුර්වල වූ ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළකට යටත් කර ගනිමින් ආණ්ඩුව ලවා 17වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, ගොවි ණය කැපීම ඇතුළු ජනතාවාදී පියවරයන් ඉටු කර ගැනීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබුවා. නැවත 2004 වසරේ දී ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. 2004 වසරේ දී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඔහු එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත් නොවිඳි විසල් ආදර්ශයක් එම අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් රටට ලබා දුන් බව පොදුවේ කාගේත් පිළිගැනීම යි. සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වීම පදනම් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අමාත්‍යවරු සිව් දෙනාද එම ආණ්ඩුවෙන් ඉවත් වුණා. මේ අතර 2008 වසරේ දී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගනු ලැබුවා. නැවතත් 2010 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට පත් විය.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ ඉතාම තිරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස දෙවෙනි දින පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තේරී වීමෙන් පසුව යි. ඔහුගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ වඩාත් පුළුල්ව ජනතාව අතරට පැතිර යාම වෙනුවෙන් තීරණාත්මක වැඩකොටසක් ආරම්භ වුණා. නැවතත් 2015 වසරේ දී පවත්වන ලද පාර්ලිමේන්තු මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා. 2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේද අනුර කුමාර දිසානායක යි. 2019 වසරේ අගෝස්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක් කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නව දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කෙරුණා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් හෙම්බත් වී සිටි ජනතාව වේගයෙන් එය වටා ඒකරාශි වීම ඇරඹුණේ ඔහුගේ නායකත්වය යටතේ යි.

2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක තියුණු තරගයක් පැවති සටන් බිමක 3.16%ක ඡන්ද ප්‍රතිශතයක් සහ ඡන්ද 418,553ක් ලබෑ ගැනීමට සමත් වුණා. 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ආර්ථික අර්බුදය හමුවේ එදා මෙදා තුර ශ්‍රී ලාංකේය දේශපාලන භුමියේ නිර්මාණය වූ අති දැවැන්තම ප්‍රගතිශිලී මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීම සඳහා ඔහුගේ දායකත්වය ඉවහල් වුණා. ජාතික ජන බලවේගය වටා මේ රටේ ජන බලවේග ඒකරාශි කිරීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කළ ඔහු කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, කලාකරුවන්, ගොවීන්, කම්කරුවන්, ශිෂ්‍යයින් මෙන්ම විවිධ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් දැවැන්තම මහජන ව්‍යාපාරයක් බව ජාතික ජනබලවේගය පත් කිරීම සඳහා ඉතාම තීරණාත්මක සහ ආකර්ෂණිය වැඩකොටසක් ඉටු කළා.

2021 වසරේ දෙසැම්බර් මස 20 වැනි දින පවත්වන ලද ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වයට පත් වන අනුර කුමාර දිසානායක බහුතර ප්‍රගතීශිලී ජනයාට එක්ව වැඩකළ හැකි දැවැන්තම මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගය පත් කිරිම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.

2024 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන්නේ මෙවැනි තත්වයක් තුළයි.

අර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් රටටත් ජනතාවටත් නව පුනරුදයක මාවත පෙන්වූ ඔහු රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන එන බවටද මැතිවරණයේ දී මෙරට ජනතාවට පොරොන්දු වුණා. ඔහු සතු නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තිරණ ගැනීමේ හැකියාව, පෞරුෂත්වය, ආකර්ෂණිය සංනිවේදන කුසලතාව සහා තියුණු කථිකත්වය, සහකම්පනය, ආදර්ශමත් බව, වෙනස් වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව වැනි නායකත්ව චරිත ලක්ෂණ හේතුවෙන් සුවහසක් ශ්‍රී ලාංකීය ජනයාට තියුණු දේශපාලන ආශ්වාදයක් ගෙනදීමට ඔහු සමත් වුණා. 2024 සැප්තැම්බර 21 පැවති මෙරට නමවෙනි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී ප්‍රතිඵලයෙන් ජනතාව අනුර කුමාර දිසානායක නම් වූ මිනිසාගේ පණිවිඩය හොඳින්ම වටහාගෙන ඇති බවයි පැහැදිලි වන්නේ.

Recent Post