ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ ගේ මුණුපුරකු වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 76ක්. සිය ඥාති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසුව දැදිගම ආසනය නියෝජනය කළ රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වෙනවා.
1948 ජූනි 21 වෙනිදා උපන් රුක්මන් සේනානායක මහතා රොබට් පරාක්‍රම සේනානායක සහ ස්වර්ණ නීලා සේනානායක යුවලගේ තුන්වැනි දරුවා යි.
දැදිගම ආසනය නියෝජනය කළ රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් 1973 දී දැදිගම අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පිවිසුනා. 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ නමුත් 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැහැ. 1994 දී රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසි අතර 2001 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළා. යලිත් 2001 වසරේ දෙසැම්බර් මාසයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එවර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වුණා. රුක්මන් සේනානායක මහතා 2004 වසර දක්වා කැබිනට් අමාත්‍ය ධුරය දැරූ අතර 2004 මහ මැතිවරණයෙන් ඔහු නැවත පාර්ලිමේන්තුවට පිවිසුණා. 2007 දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසත් 2008 දී උප නායක ලෙසත් ඔහු පත් කරනු ලැබුවා.
රුක්මන් සේනානායක මහතා එවකට එජාපයේ නායක ජේ.ආර්. ජයවර්ධන විසින් එජාපයෙන් නෙරපා හරින ලැබුවේ විනය විරෝධිව කටයුතු කළ බවට චෝදනා නඟමින්. ඒ ජේ.ආර්. ජයවර්ධන මහතා සේනානායකවරුන් කෙරෙහි පැවති යම් නොරිස්සුම් ස්වභාවයක් නිසා බවයි කියන්නේ.
1977 මැතිවරණය රැලිවලදී ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කර තිබුණේ එජාපය සේනානායකවරුන්ටම උරුම වූ පක්ෂයක් නොවන බවයි.
රුක්මන් සේනානායක මහතා 1976 අප්‍රේල් 24 වැනිදා එජාපයෙන් නෙරපීම පිළිබඳ සිරිකොත රැස්වීමක දී ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පක්ෂය තුළ තිබූ කුණු කන්දක් ඉවත් කළ බවයි.
එජාපයේ ජේ.ආර්. විරෝධි කණ්ඩායම් රුක්මන් සේනානායක මහතා වටා එක්ව 1976 ජූනි මස 30 දින බොරැල්ලේ වුඩ්ලන්ඩ් නිවසේ දී රුක්මන් සේනානායක මහතාගේ නායකත්වයෙන් ‘ඩඩ්ලි පෙරමුණ’ බිහි කළා. එහි පළමු ප්‍රචාරක රැලිය කොළඹ දී පැවති අතර, දෙවැනි මහා රැලිය පැවතුණේ තෙල්දෙණිය නගරයේ යි. එවකට එජාප ප්‍රබලයන් වූ දොස්තර ගාමිණී විජේසේකර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ආර්.පී. විජේසිරි, දොස්තර සී.ඩී.එල්. ප්‍රනාන්දු, නීතිඥ එස්.ඩී.එස්. සෝමරත්න, දොස්තර ඒ.බී.ජී. සෙනෙවිරත්න එහි ප්‍රමුඛයන් වුණා.
එම පක්‍ෂයේ සලකුණ තරාදිය වූ අතර, පක්‍ෂයේ පාට තැඹිලි පහ ගත්තා. පක්ෂය පසුව නම් කළේ එක්සත් ලංකා ජනතා පක්ෂය ලෙසින්. එය එජාප නමට සමානව එලජප ලෙස කෙටියෙන් හදිවුණා.
එක්සත් ලංකා ජනතා පක්ෂයේ සභාපති වශයෙන් රාජනීතිඥ ඒ.සී. ගුණරත්න, උපසභාපති හා ප්‍රධාන සංවිධායක වශයෙන් රුක්මන් සේනානායක, මහ ලේකම් දොස්තර ගාමිණී සී. විජේසේකර, භාණ්ඩාගාරික නීතිඥ එස්.ඩී.එස්. සෝමරත්න, උප ලේකම් ඊ.එල්.ජී. මෙන්ඩිස්, උප භාණ්ඩාගාරික නීතිඥ එම්.එෆ්. මිෂ්කින් හා සංවිධායක ලේකම් ඩී.ජී.පී. රණසිංහ යන අයගෙන් සමන්විත වුණා. 08 දෙනකුගෙන් යුත් උපදේශක සභාවක් ද 22කගෙන් යුත් ක්‍රියාකාරි මණ්ඩලයක් ද තෝරා පත් කරගත්තා.
1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී රුක්මන් සේනානායක මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ලංකා ජනතා පක්ෂය පාර්ලිමේන්තු ප්‍රවේශයක් නොලැබුනත් පාර්ලිමේන්තුවෙන් පිටත් විපක්ෂයේ ක්‍රියාකාරි පක්ෂයක් බවට පත්ව තිබුණා.
ඉන් පසුව රුක්මන් සේනානායක මහතා එක්සත් ලංකා ජනතා පක්ෂය විසුරුවා හැර ඒ වසරේ දී නැවත එජාපයට එක් වූයේ කඩුවෙල පැවති එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩ වෙමින්.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙන බවයි කියන්නේ.