සාමණේර භික්ෂූන් වහන්සේලා යොදා ගැනීම ගැන නාමල්ට විරෝධය

දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සාමණේර භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමට එරෙහිව ළමා ආරක්ෂණ සංධානය විසින් අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති  වරකාගොඩ ශ්‍රි ඥානරතන මහනායක හිමි වෙත ලිපියක් යවා තිබෙනවා. මෙම ලිපිය යැවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය 18 වන දින අස්ගිරි මහා පිරිවෙනෙහි ඉගෙනුම ලබන කුඩා සාමණේර වහන්සේලා සමඟ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පෙනී සිටි ඡායාරූපයක් ඔහුගේ FB ගිණුම තුළින් ප්‍රචාරය කර තිබීම යි.

ළමා ආරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට 1991 වසරේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කර තිබෙනවා. එම ප්‍රඥප්තියෙහි සඳහන් වන ‘දරුවන්ට සිදුවන සියලු අවභාවිතාවන්ගෙන් ආරක්ෂා කිරීමට රජයන් ක්‍රියා කළ යුතු ය. උදාහරණයක් ලෙස දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම’ යන වගන්තියට අනුව නාමල් රාජපක්ෂ විසින් එම ප්‍රඥපත්යට එරෙහිව කටයුතු කර ඇති බවත්, මහානායක ස්වාමින් වහන්සේලා ද එලෙස සාමණේර භික්ෂුන් වහන්සේලා අවභාවිත කිරීම පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ළමා ආරක්ෂණ සංධානය පවසනවා.

ළමා ආරක්ෂණ සංධානය විශේෂයෙන් ම අවධාරණය කරන්නේ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම ජනාධිපති අපේක්ෂකයකුට ම බල කරන ලෙසයි. එමෙන් ම සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ දී මහ නායක ස්වාමින් වහන්සේලාගේ සහයෝගය ද බලාපොරොත්තු වන බව එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

මෙම ලිපියට අත්සන් කර ඇත්තේ එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ දිලීපා මානවඩු යන දෙදෙනායි.

Recent Post