සතොස හරහා වී මිලදී ගැ​නීමට සූදාන​ම්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජය සූදානම් බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳව සොයා ලැබීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ වෙළෙඳපොළ තුළ පවතින බරපතළ විශමතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සහල් මෝල් හිමියන් අසාමාන්‍ය ලෙස ලාභ ලබමින් සිටින බවත් එම අසාමාන්‍යතා රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරු සෙවීමට කටයුතු කරන බවත්ය.

රටේ වී නිෂ්පාදනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් මහ මෝල් හිමියන් මිලදී ගන්නා බවත් ඉතිරි නිෂ්පාදන මිලදී ගනු ලබන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන් බවත් පැවසූ අමාත්‍යවරයා වෙළෙඳපොළ තුළ පවතින අසාමාන්‍යතා අවම කිරීම සඳහා රජයද වී මිලදී ගැනීමට කටයුතු කරන බවද එහිදී සඳහන් කළා.

තවද රටේ පැවැති සහල් හිඟය අවම කිරීම සඳහා පසුගිය 31 වැනි දින වන විට සහල් මෙට්‍රික් ටොන් 86,000ක් මෙරටට ආනයනය කරමින් ගැටළුව විසඳූ බව පැවසු වසන්ත සමරසිංහ මහතා මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවද වැඩිදුරටත් පැවසුවා.

Recent Post