2015-2020 කාලයේදී ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදහ​න්

ජනාධිපති මාධ්‍ය අංශයේ රුපියල් ලක්ෂ එක්දහස් හාරසිය විස්සක භාණ්ඩ අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරනවා.

එම කාලය තුළ ලබාගත් භාණ්ඩ යළි මාධ්‍ය අංශයට ලබාදී නොමැති බවටයි එම වාර්තා හෙළිකරන්නේ.

2015 – 2020 අතර කාලයේ දී ජනාධිපති මාධ්‍ය අංශයට මිලදීගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු උපකරණ 3,406ක් මෙලෙස අස්ථානගතව ඇති බවයි විගණන වාර්තාවල දැක්වෙන්නේ.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 1,420 ඉක්මවනවා.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි මාසය දක්වා රුපියල් දහසය කෝටි විසිදෙලක්ෂ හැත්තෑතුන්දහස් එකසිය අසූපහක් වටිනා අයිතම නිකුත්කර තිබෙනවා.

එහිදී 2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1,262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයට අදාළ උපකරණ ඇතුළත් පොත් 3ක් පමණක් විගණනයට ඉදිරිපත් කර ඇති බවයි 2021 පෙබරවාරි 22 දිනැති විගණන වාර්තාවේ සඳහන් වන්නේ.

ඉහත දැක්වූ අයිතමයන් සම්බන්ධයෙන් එම පොත්වල ඇතුළත් කර නොමැති බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරියෙකු සමග කළ භෞතික පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 219ක භාණ්ඩ ඒකක 133ක් එම අංශයේ නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවරුන් සඳහන් කර ඇත්තේ ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 350ට ආසන්න බවයි.

එමෙන්ම 2015 වසරේ සිට 2019 දක්වා මිලදීගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බවට ද තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණවලදී පවා ඒ ගැන සඳහන් නොවන බවයි විගණන වාර්තා පෙන්වා දෙන්නේ.

Recent Post